Recent Posts Widget


ඇඳිරිනීති කාලය තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අළෙවිය ඉතා සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති ආකාරය නිරීක්ෂණය වීමත් සමග පොලිසිය සහ සුරාබදු නිළධාරීන් එක්ව මත්පැන් ජාවාරම්කරුවන් සොයා සිදුකළ වැටලීම් තවදුරටත් වැඩිකර තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල සිදුකරන ලද වැටලීම් වලින් දිවයින පුරා විසිරුන නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර රැසක් කොටුකරගැනීට නිළධාරීන් සමත් වුනා.

මිනිස් සිරුරට අතිශයින්ම අහිතකර දේවල් මෙම නීති විරෝධී මත්පැන් වල අන්තර්ගත වන අතර එමඟින් මරණය දක්වා ඕනෑම ප්‍රතිඵලයක් ඇතිවිය හැකි බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ. ඒ අනුව මෙවැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජනගත වීම තුලින් කොවිඩ් වසංගතය හා සමාන බරපතල අන්තරාදායක තත්වයක් ඇතිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තවද සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් මෙවැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිපදවන ආකාරය ප්‍රවර්ධනය කරන වැඩසටහන් නිපදවා ප්‍රචාරය කරන පිරිස් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළා. පසුගිය සමයේ සමාජ ජාලා හරහා හුවමාරු වුන එවැනි වීඩියෝ දර්ශන සම්බන්ධ තොරතුරු මේවන විටත් අනාවරණය කරගෙන ඇති අතර රටේ පවතින ඇඳරිනීතිය අවසන් වූ සැනින් ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම මෙම කාලසීමාව තුල ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී මත්පැන් බෝතලයක් රුපියල් 2000 ඉක්මවූ මුදලකටත්, අති විශේෂ වර්ගයේ අරක්කු රුපියල් 6000 ට ආසන්න මුදලකට මෙන්ම විදේශීය මත්පැන් බෝතලයත් රුපියල් 10,000  වඩා වැඩි මිල ගණන්වලටත් අළෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

රජය විසින් එක් දිනකට රුපියල් මිලියන 15 ක බදු ආදායමක් බැහැර කරමින් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මෙලෙස මත්පැන් හල් වසාදමා ඇති මොහොතක, මෙවැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හරහා එයින් ලැබෙන ප්‍රයෝජනය අහිමිවී යාමේ අවධානමක් ඇති බව පෙන්වාදුන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන්නන් මේ මොහෝතේ සමාජයට සිදුකරන්නේ බරපතල අපරාධයක් බවයි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.