Recent Posts Widget

කොරෝනා අවදානම හේතුවෙන් පැනවුණු සීමාවන් ලිහිල් කර ක්‍රම ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත් කිරීම ලබන 11 වන සඳුදා ආරම්භ වනවා.

එහිදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළු ගැසට් නිවේදනයක් ද ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය මගින් ඊට අදාළ කරුණු දැනුම් දෙන අතර, ඒ අනුව, නිරෝධායනය නීති රිති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලය හිමි වන බවයි.

සියලූ ආයතන හා සේවා කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිදුවනවා.

කෙසේ වෙතත්, දැනට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව ද 48,879ක්.

රට යථා තත්ත්වයට පත් කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමානා්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ දුම්රියේ ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ට ඊට ලියාපදිංචි වීම සඳහා මීට පෙර අයදුම්පතක් නිකුත් කර තිබූ බවයි.

ඒ අනුව අයදුම්පත් 3000 කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් ඒ අනුව, විශේෂ දුම්රිය වාර යොදවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බවත්, ඔහු කියා සිටියා.

ලියාපදිංචි වූ පුද්ගලයින්ට තමන්ට අදාළ දුම්රිය, ගමන් ගන්නා වේලාව, ස්ථානය ආදී කරුණු ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව, දුම්රියේ ගමන් කිරීමේදි සහ දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදි විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්.පොල්වත්තගේ සඳහන් කළා.

එමෙන්ම, ලංකා ගමනාගමන මණ්ඩලය 11 වනදා සිට විශේෂ බස් රථ සේවා ආරම්භ කර තිබෙනවා.

එක් එක් ආයතනවලට අදාළ වන අයුරින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සඳහන් කළේ.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත තීරණයක් ගෙන නැහැ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ රටේ පවතින තත්ත්වයත් සමග තම සංගමය විසින් රජයෙන් ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සිටියත්, එය මෙතෙක් නොලැබී ඇති බවයි.

මීට අමතරව නියමිත මාර්ගෝපදේශනවලට අනුකූලව රූපලාවන්‍යාගාර ඇතුළු අනෙකුත් ඊට සමාන සේවා සපයන ස්ථාන විවෘත කරන බව ශ්‍රී ලංකා කොණ්ඩා මොස්තර සහ රූපලාවන්‍යාගාර ශිල්පීන්ගේ සංගමයේ සභාපති නයනා කරුණාරත්න සඳහන් කළා.

මේ අතර, සියලූම ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබන 11, 12, 13, 14 සහ 15 වනදා දක්වා ඔවුන්ට අදාළ තැපැල් කාර්යාලය මගින් ලබාදීමට අවශ්‍ය සැලසුම් කර තිබෙනවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.