Recent Posts Widget

කොමිසම හමුවේ අද දිනයේදී පළමුව සාක්ෂි දුන්නේ විශේෂ කාර්‍ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රම්මුණි අරුණ මහතායි.

ඔහු ප්‍රකාශ කළේ පුත්තලම විශේෂ කාර්‍ය බලකා කදවුරේ වැඩබලන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කල තමන්ට 2019 ජනවාරි 16 වැනිදා සවස හයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට දුරකථන ඇමතුමක් ලබාදී වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාරසිංහ ඇතුලු කණ්ඩායමක් පැමිණ ඇති බවත්, ප්‍රදේශයේ සැක කටයුතු ඉඩමකට ආරක්ෂාව ලබාදීම සදහා නිලධාරීන් කණ්ඩායමක් යොමු කරන ලෙස ප්‍රකාශ කළ බවත්ය.

අදාල ඉඩම පරීක්ෂා කිරීමේදී නිවෙස් දෙකක් තුළ තිබී යුද ඇඳුමක්, නැවත සකස් කරනු ලැබු උණ්ඩ පහක්, විදුලි පරිපථ, වයර් වැනි විනාශකාරි ක්‍රියාවකට භාවිත කල හැකි උපකරණ මෙන්ම වයි ෆයි රවුටර් සහ කැමරාවක් ද සොයා ගත්තේය.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන් ලැක්ටෝවත්ත ඉඩම පරීක්ෂාවට ලක්කල විශේෂ කාර්‍ය බලකා නිලධාරී පොලිස් පරීක්ෂක සුරේෂ් ප්‍රියංකර මහතා පැවසුවේ, එක් නිවසක තිබී ඉන්දියාවේ නිෂ්පාදිත ඩෙටනේටර් 99ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ඊට යොදාගන්නා ජීව පතුරම් 7ක් වායු රයිෆලයක් සහ ඊට යොදාගන්නා උණ්ඩ ද හමුවූ බවයි.

එමෙන්ම ඉඩමේ විසූ තරුණයන් සිව්දෙනෙකු ඒ වනවිටත් අත් විලංගු දමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන තිබු බවත් ඉන් එක් පුද්ගලයෙකු ලැක්ටෝස් මුදලාලිගේ පුත්‍රයකු බව එහිදී අනාවරණ වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන් ලැක්ටෝවත්ත ඉඩම පිළිබඳ කරුණු සොයාගනු ලැබූ හා එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පළමුව පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජනක මාරසිංහ මහතායි.

ඔහු පැවසුවේ තමන් 2019 ජනවාරි 16 දින පස්වරු 3.05 ට පමණ ලැක්ටෝවත්ත ඉඩමට පැමිණි බවත්, එම ස්ථානයේ සිටි තරුණයින් හතරදෙනා මුෆීස්, නවාස් සහ සොහොයුරන් දෙදෙනකු වන නෆ්‍රික් හා නව්ද් ලෙස හඳුනාගත් බවයි.

ඔවුන් ප්‍රශ්න කිරීම්වලදී පරස්පර ප්‍රකාශ සිදුකිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අදාළ සහෝදරයින් දෙදෙනා නිදහස් කිරීමට කටයුතු කළේදැයි කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂන දෙපාර්තනේතුවේ පොලිස් පරීක්ෂක ජනක මාරසිංහ මහතා පැවසුවේ, සිද්ධියට ඔවුන් සම්බන්ධ නැති නිසා එලෙස නිදහස් කළ බවයි.

කෙසේ වෙතත් එම සැකකරුවන් දෙදෙනා රැඳී සිටි නිවසෙන් ගිනි අවි දෙකක් හමුවූ බව මිට පෙර සාක්ෂි ලබාදුන් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරියා සදහන් කළ බව සභාපති විනිසුරුවරයා අවධානයට යොමුකරමින් ප්‍රශ්න කළේය.

එවිට සාක්ෂිකරු සඳහන් කළේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද දින මෙම කොමිසමට පවසන තෙක් තමන් ඒ පිළිබඳව නොදැන සිටි බවයි.

ඒසේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සහෝදර සැකකරුවන් දෙදෙනාගේ විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ උත්සහයක සිටියේදැයි කොමිසම විමසුවේය.

එහිදී සාක්ෂිකරු එසේ කළ බව පිලිගනු ලැබුවේය.

එසේ කරන ලෙස තමන්ට එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවක හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකර යන පිරිස් දිගුන් දිගටම දැනුම් දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම නිදහස් කළ පුද්ගලයින් පිළිබඳව යම් සොයා බැලීමක් සිදුකල යුතුව තිබූ බවට තමන්ට දැන් හැඟී යන බව සාක්ෂිකරු සඳහන් කළේය.

අදාල සැකකරුවන් නිදහස් කිරීමට අදාල වාර්තාව එවක ආරක්ෂක අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඊට අවසරය ලබාගත් බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගම‍ගේ මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

එහිදී ඔහු පැවසුවේ ෂැංග්‍රිලා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් සිය දෙමටගොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බවයි.

ඉන් එක් හඬ පටයක් අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ 11.48ටත් අනෙක් හඬපටය එදින මධ්‍යම රාත්‍රී 12.03ටත් පටිගත කර ඇති බව එහිදී අනාවරණ විය.

දෙමළ භාෂාවෙන් පටිගත කර ඇති එම හඬ පටය කොමිසම හමුවේ අසන්නට සලස්වා එහි සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු කොමිසමට ඉදිපත් කළේය.

එම හඬ පටයේ මෙසේ සඳහන් විය.

"මාගේ අම්මටයි තාත්තටයි සහෝදර සහෝදරියන්ටයි ලබාදෙන පණිවිඩය...හදිසියෙන්ම වෙලාවක් නැතිව තමයි මේ පණිවිඩය කරන්නේ. මං කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේ එයා පියාගේ ආගම් ඇදහීම් ක්‍රියාවලීන් සමඟ අන්‍යාගමිකයින් සමග සබඳතා පැවැත්වීම හාමුදුරුවන්ට ආධාර ලබාදීමේ කටයුතුවලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සිරක් කුෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉඳීයි. සරියා මේ රටට එන්න ඕන. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලුන් සමඟ කොයි විදිහටද කටයුතු කරන්න ඕනා, ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහකටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැන ගන්න ඕන. අම්මටයි තාත්තටයි කියන පණිවිඩය තමයි මට සමාව දෙන්න. මා නිසා ඔයාලට කරදර අපහසුතාවයන් වෙන්න පුළුවන්. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි. පොලිසියෙන් අම්මා තාත්තා වුනත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ජිහාද් කියන එක මේ කාලේ අනිවාර්යයි.

පසුව එම හඬ පටය ඇතුළත් පෙන්ඩ්‍රයිව් සිය බිරිඳ ෆාතිමා ජිෆ්‍රිගේ අත මත තබා දෙමාපියන්ට අසන්නට ලබාදෙන්නැයි පවසා, ඉල්හාම් ප්‍රහාරය සඳහා නිවසින් පිටත්ව ගොස් තිබේ.

අනතුරුව ෆාතිමා හඬපට ඇතුළත් පෙන් ඩ්‍රයිව් සිය සැමියාගේ නැගණිය වන ඉබාදා ඊබ්‍රහිම් වෙත ලබාදී ඇති අතර ඉබාදා විසින් සිය සහෝදරයා වන ඉස්මයිල් ඊබ්‍රහීම් වෙත හඬපට ලබා දුන් බවයි කොමිසමේදී හෙළි වුණේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසට කොළඹ අපරාධ කොට්ඨාස සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන විට නිවැසියන් එම හඬපටවලට සවන් දෙමින් සිට ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා කොමිසමට පැවසුවේය.

එම අවස්ථාවේදී ඉල්හාම්ගේ ගැබිනි බිරිඳ දරුවන් තිදෙනා සමඟ නිවසේ උඩුමහලක කාමරයක් තුළදී බෝම්බය පුපුරුවාගත් අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනා ඉන් ජිවිතක්ෂයට පත්වුණි.

කොමිසම එහිදී විමසුවේ එම නිවසේ තිබී කිසියම් දෙයක් සොයාගත්තේද යන්නයි.

එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එම නිවසින් පොත් 283ක්, බාහිර දත්ත ගබඩා 9ක්, පෙන් ඩ්‍රයිව් දෙකක් සහ සී.සී.ටි.වී පටිගත කිරීමේ යන්ත්‍රයක් සොයාගත් බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම එක් පෙන් ඩ්‍රයිව් එකක තිබී ඉල්හාම් විසින් පටිගත කෙරුණු මෙම හඬපට සොයාගත් බවයි.

එමෙන්ම ප්‍රහාරයට පෙර එනම් අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ සහෝදරයකු වන ඉජාස් අහමඩ්, ඉල්හාම්ගේ සියලු බලතල එම පවුලේ බාල සහෝදරයා වන මොහොමඩ් ස්මයිල් වෙත පවරා දෙන ලෙස නීතිඥයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

නමුත් ඔහුගේ නීතිඥයා අයිතිය පැවරීමේ එම කෙටුම්පතක් සකස් කර 20 වැනිදා රාත්‍රියේ ඊබ්‍රහයිම්ගේ නිවසට යොමුකෙරුව ද ඊට බලය පැවරීමට අදාළ අත්සන් ඇතුළත් කර නොතිබූ බවයි කොමිසම හමුවේ සඳහන් කෙරුණේ.

මේ අතර ඉල්හාම්ගේ බිරිද ෆාතිමා ජිෆ්‍රිගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සොයා බැලුවේද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු පැවසුවේ තමා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ඇතිව තොරතුරු සොයා බැලු බවත් 2011 වර්ෂයේ විවෘත කරන ලද පුද්ගලික බැංකු ගිණුමක් ඇය සතුව තිබිණැයි අනාවරණ කරගත් බවයි.

එම ගිණුමට 2014 නොවැම්බර් 9 වැනිදා ඇමරිකානු ඩොලර් 5435 ක් මුදල් තැන්පතුවක් සිදුව ඇති බව ද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය

කෙසේවෙතත් මේ වන විට එහි අවසන් ශේෂය ලෙස පවතින්නේ අමෙරිකානු ඩොලර් 293 ක් පමණක් බවද සාක්ෂිකරු කියා සිටියේය.

අත්හිටවූ ගිණුමෙන් මුදල් ඉවත්ව ඇත්තේ කෙසේදැයි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් සාක්ෂිකරු පැවසුවේය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.